කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දුව භාරවී තිබුණේ මුත්තයියා මුරලිදරන්ට සහ අජන්ත මෙන්ඩිස්ටය. ඔවුන්ට පසුව දඟපන්දුව අතට ගැනීමට පැමිණියේ එවකට ළාබාල වයසේ පසුවූ ක්‍රීඩකයකි. ඒ, අකිල ධනංජයයි. ඔහු ක්‍රිකට් පිටියේ කොතරම් පෙරළියක් සිදුකළාද කිව්වොත් කෙටි කලකින්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා බවට පත්වූයේ ඔහුය. අද අපි කතා කරන්නේ එවන් විශිෂ්ට ජයග්‍රහණය රැසක්ම ශ්‍රී ලංකාවට අත්කරදුන් අකිල ධනංජයගේ ආදරණීය බිරිඳ වන නෙතලි ටෙක්ෂිනී සමරවික්‍රම සමගිනි.
අකිල එක්ක ගෙවන ජීවිතේ කොයි වගේද?
අපි විවාහවෙලා අවුරුදු හයක් වෙනවා. ඒත් එච්චර කාලයක් ගිහින් කියලා දැනෙන්නෙවත් නෑ. හරි වේගෙන් කාලේ ගියා. හැබැයි අවුරුදු හයක් ගියත් අපි ඉන්නේ අද ඊයේ විවාහ වූ දෙන්නෙක් වගේ හරිම ආදරෙන්. අපිට දැන් අවුරුදු හතරක පුතෙක් ඉන්නවා.
අකිලට වගේම නෙතලිටත් ක්‍රිකට් ගහන්න පුළුවන් කියන්නේ ඇත්තද?
ඔව්. අකිලට වගේම මටත් හොඳට ක්‍රිකට් ගහන්න පුළුවන්. මොකද මං ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ක්‍රිකට් ගැහුවා. හැබැයි ඉගෙනීම් කටයුතුවලට බාධාවෙයි කියලා හිතලා උසස් පෙළ පන්තිවලදි ක්‍රිකට් ගහන එක නතර කළා. අකිලව මට මුණගැහුණෙත් මං ක්‍රිකට් ගහපු නිසා තමයි.
එහෙම වුණේ කොහොමද?
අකිලයි මමයි දෙන්නම ගියේ පානදුර මහානාම විද්‍යාලයට. ඉතින් අපි ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් පුහුණුවීම් කරද්දි එයාලත් එනවා පුහුණුවීම් කරන්න. ඒ අතරේ තමයි 2010 අවුරුද්දේ විතර එයා මගෙන් කැමැතිද ඇහුවෙ.
පොතේ හැටියට නම් ගෑනු ළමයෙක් එකපාර කැමැත්ත දෙන්නේ නෑනේ...
මමත් එකපාරටම අකිලට කැමැති වුණේ නෑ. චුට්ටක් විතර ගණන් ඉස්සුවා. ටික දවසක් යනකොට තේරුණා අකිල කියන්නේ හරිම හොඳ කෙනෙක් කියලා. පස්සේ අපි ආදරේ කළා. අවුරුදු හතක් ආදරේ කරලා 2017 අවුරුද්දේ අපි විවාහ වුණා.
විවාහයට කලින් එයා ජාතික කණ්ඩායමටත් තේරුණා නේද?
අපි විවාහ වෙන්න කලින් එයා ජාතික කණ්ඩායමටත් තේරුණා.
විවාහ මංගල්‍යය ක්‍රිකට් තරගාවලියක් අතරතුරේ දාගත්තේ මොකද?
අපි කලින් ඉඳන් විවාහ වෙන්න නැකත් බලලා තිබුණේ. වැඩේ කියන්නේ ඒ දවස්වලටම ඉන්දියාව එක්ක එක්දින තරගාවලියක් වැටුණා. අකිලත් ඒකට හිටියා. කොහොම හරි ඒ ක්‍රිකට් තරගාවලිය අස්සෙම අපේ විවාහයත් වුණා. අකිලට බැඳපු ගමන්ම අනික් පැත්තට නුවර මැච් එකකට යන්න වුණා.
ජීවිතේ වැදගත් දවසක ක්‍රිකට් ගහන්න ගිය අකිල ගැන එදා තරහක් එහෙම ආවේ නැද්ද?
අනේ එහෙම නෑ. මොකද ඒ වෙනකොට මං ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නේ කවුද කියලා හොඳට තේරුම් අරන් හිටියේ. ඒ නිසා ඒක ගාණක් නෑ. මං හිතන්නේ ඒක එයා රට වෙනුවෙන් කරපු කැපකිරීමක්.
එදා මැච් එකේදි අකිල ඔයාට හිතාගන්න බැරි මංගල තෑග්ගකුත් දුන්නා නේද?
එදා එයා කඩුලු හයක් අරන් එයාගේ ක්‍රිකට් ජීවිතේ හොඳම පන්දු යැවීම කළා. එදා නම් මට අමතක නොවෙන දවසක්. ඒත් අවාසනාවකට වගේ ඒ මැච් එක අපි පැරදුණා. එදා දිනුවා නම් තවත් සතුටුවෙන්න තිබුණා.
විවාහයෙන් පස්සේ අකිල දාපු කොන්දේසිය මොකක්ද?
විහිළුවට වගේ පොඩි පොඩි කොන්දේසි ටිකක් දැම්මා.
අකිල හොඳින්ම දස්කම් අතර සිටියදී පන්දු යැවීම පිළිබඳ ගැටලුවක් මතුවුණා. ඒ වෙලාවේ ඔහු හැසිරුණේ කොහොමද?
අකිලගේ පන්දු යැවීම නීතිවිරෝධීයි කියලා එයාට ලොකු ප්‍රශ්නයකට
මුහුණදෙන්න වුණා. එදා එයා ගොඩාක් මානසිකව වැටුණා. එයාට වුවමනා වුණේ ඉක්මනට පන්දු යැවීමේ ඉරියව්ව හදාගන්න. ඊට පස්සේ දිගටම පුහුණුවීම් කළා. අන්තිමේ එයා එයාගේ කැපවීමෙන් ආයෙත් පන්දු යැවීමේ ඉරියව්ව හරියට හදාගත්තා. දැන් එයා ආයෙමත් හොඳින් පන්දු යවමින් ඉන්නවා.
මීළඟ ක්‍රිකට් ලෝක කුසලානයේදී අකිලට කණ්ඩායමේ තැනක් ලැබෙයි කියලා හිතනවද?
මමත් ආසයි එයා ලෝක කුසලානයේ සෙල්ලම් කරනවා දකින්න. එයත් ලෝක කුසලානයට අවස්ථාව ලැබුණොත් රට වෙනුවෙන් හොඳටම සෙල්ලම් කරන්න බලාගෙන ඉන්නේ.
අකිල ගැන අමතක කරන්න බැරි මතකයක් නෙතලි ළඟ නැද්ද?
දවසක් ටුවර් එකක් ගිහින් එද්දි ෆලයිට් එකේ අපි ළඟම විදෙස් ජාතිකයෙක් නිදාගෙන හිටියා. ටික වෙලාවකින් අකිලත් මාව හිනස්සන්න ඕනවට අරයා නිදාගෙන හිටපු විදිහටමට මට පේන්න බොරුවට නිදි. අන්තිමේ ඒ මනුස්සයත් ඒක දැක්කා. ඒක නම් අමතක නෑ.
අකිලත් එක්ක ජීවත්වෙන්න හරි ලේසිද?
ඔව්. එයාට ලේසියකට තරහා යන්නේ නෑ. නිවිලම තමයි ඉන්නේ. හැබැයි නිකන් හරි මට තරහා ගියොත් එහෙම එයා ඒක ජෝක් එකට වගේ ගන්නවා.
ක්‍රිකට් ක්‍රීඩකයෝ විලාසිතාවලට හරි කැමැතියි. අකිලත් එහෙමද?
ඔව්. එයත් ටිකක් විතර කැමැතියි. සමහර කාලවලට කොණ්ඩෙට විලාසිතා කරනවා.
අකිලට ක්‍රිකට් ගහන්න ආසාවක් ඇවිත් තියෙන්නේ ඇයි කියලා ඔයාට කියලා නැද්ද?
ඒ කාලේ අකිලගේ අයියා ක්‍රිකට් ගැහුවලු. ඉතින් එයාට පුහුණුවීම් තියෙන දවස්වලට අකිලගේ අම්මා කෑම එකක් අරන් ග්‍රවුන්ඩ් එකට යනවලු. අකිලත් ඒ එක්ක පස්සෙන් යනවලු. එහෙම ගිහින් තමයි එයාටත් ක්‍රිකට් ගහන්න ආසාවක් ඇවිත් තියෙන්නේ.