(දමිත් තිසර- මිනුවන්ගොඩ)
2 වසරේ ඉගෙනුම ලබන අවුරුදු 06යි මාස 08 ක් වයසැති බාල වයස්කාර පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනය සිදු කිරීමේ චෝදනා මත දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් දෙදෙනෙකුව එළඹෙන 6 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය 25 වෙනිදා පස්වරුවේදී නියම කළාය.
දිවුලපිටිය, මිල්ලගහවත්ත සහ පින්නලන්ද වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.
සැකකරුවන් දෙදෙනාව මීගමුව මහ රෝහලේ සමාජ රෝග සහ මානසික රෝග සායනයට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරනයෙන් නියම කෙරුණි.
වින්දිත පිරිමි දරුවාගේ මව හැර ගොස් ඇති බවත් පියා බරපතළ ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බව අධිකරණයේදී සඳහන් විය.
ආච්චිගේ රැකවරණය මත සිටින මෙම පිරිමි දරුවාව ලිංගික අපයෝජනයට ලක් කර ඇත්තේ දරුවාගේ පියාගේ මිතුරන් දෙදෙනකු බවත් සැකකරුවන් දෙදෙනා ද හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහි වී සිටින අයවලුන් බව දිවුලපිටිය පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා විසින් දරුවාව මත් කර දරුවාගේ නිවස තුළදීම අපයෝජනයට ලක්කර ඇති බවට දිවුලපිටිය පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.
වින්දිත පිරිමි දරුවා මීගමුව මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පැමිණිල්ල මෙහෙයවමින් දිවුලපිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක සුබසිංහ මහතා අධිකරණය හමුවේ පැවසීය.