ලංකාවේ දැන් තිබෙන්නේ කෙබඳු තැනකද? මතු පිටින් බලන කෙනෙකුට පෙනෙන්නේ විරුද්ධ පක්ෂවලින් හා වෘර්තීය සමිති වලින් එල්ල වන බාධා කිරීම් නොසලකා ජනාධිපතිවරයා ජයග්‍රාහී ලෙස අර්බුදය කළමණාකරණය කරමින් ඉදිරියට යන බවය. එහි යම් ඇත්තක් ඇතත් එය සම්පූර්ණ ඇත්තක් ලෙස මට පෙනෙන්නේ නැත. මෙම අර්බුදය කළමණාකරණය කිරීමේදී ඒ සදහා අවශ්‍ය දැනුමට අතිරේකව තිර අධිෂ්ඨානයක් තිබියදී පවා තනිව යාහැක්කේ කිසියම් ප්‍රමාණයක දුරක් පමණය. සමස්ත අර්බුදය ජයගැනීම සදහා දේශපාලන තලයේ කිසියම් විශාල ප්‍රමාණයක සමගියක් හා ඒකාග්‍රතාවක් නැතුවම බැරිය.
ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය තිබෙන්නේ ඒ සඳහා ආරම්භකර තිබෙන වැඩ සටහනට ඇතුලත් කරගෙන නැති තවත් දේවල් ඇතොත් ඒවාද ඇතුලත් කරගනිමින් පරිපූර්ණ ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් හදාගනිමින් එය අඛන්ඩව ඉදිරියට ගෙන යායුතු තැනකය. එම ක්‍රියාදාමයේ අඛන්ඩතාවය බිඳ වැටීමක් ඇති වන ලෙස සිදුවන ආණ්ඩු පෙරලියක් පවා රට විශාල විනාශයකට තල්ලු කිරීමට හේතු විය හැකිය. එහි තේරුම ආණ්ඩු පෙරලියක් මහජනයාට අවශ්‍ය නම් ඒ සහා පැවැත්වෙන මැතිවරණයක් පවා සිදුවිය යුත්තේ දේශපාලන තලයේ බහුතර එකගතාවයකින් ඇති කරගන්නා පොදු වැඩ සටහනක් යටතේ බවය. එහිදී අලුතෙන් බලයට පත්වන ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යවස්ථාපිත වගකීම විය යුත්තේ පොදු එකගතාවයකින් ඇති කරගෙන තිබෙන ප්‍රතිසංස්කරණ වැඩ සටහන අඛන්ඩව ඉදිරියට ගෙනයාමය. කවුරු බලයට ආවද නොවෙනස්වන හා අඛන්ඩව ඉදිරියට ගෙන යායයුතු ප්‍රතිසංස්කරණ සැලැස්මක් ඇති කර ගත හැක්කේ බල හුවමාරුවක් ඇති කිරීමට හේතුවන ප්‍රධාන මැතිවරණ දෙකද ප්‍රතිසංස්කරණ වැඩ සටහන යටතේම සිදුවන දෙයක් බවට පත් කොට. සමස්ත ප්‍රතිසංස්කරණ වැඩ සටහනද දකුණු අප්‍රිකාවේ මෙන් අතුරු ව්‍යවස්ථාවකට ඇතුලත් කර ගැනීමෙනි. එවිට දැන් තිබෙන ආණ්ඩුව සේම ඊලගට බලයට පත්වන ආණ්ඩුවද වැඩ කල යුත්තේ එම ඇතුරු ව්‍යවස්ථාවට අනුකූලවය.
පොදු උත්සහායක අවශ්‍යතාව
ප්‍රතිසංස්කරණ වැඩ සටහන තනිකර ජනාධිපතිගේ වැඩ සටහනක් නොවිය යුතුය. එය පොදු ප්‍රතිසංස්කරණ වැඩ සටහනට එකතුවන සියළු දේසපාලන පක්ෂ හා කණ්ඩායම් අතර සාකච්ඡා කොට පොදු එකගතාවයකින් ඇති කර ගත යුතු වැඩ සටහනකි. ලංකාවේ සියලු මූලික හා ප්‍රධාන දේවල් තිබෙන්නේ මුලුමනින් ජරාජීර්ණ හෝ බෙලහීන තත්වයකට පත්වූ තත්වයකය. ඉතා බලවත් ලෙස නැගී සිටීමකට අවශ්‍ය ප්‍රවර්තක බලයක් ඇති කිරීමට හේතුවන මූලික ප්‍රතිසංස්කරණ කිහිපයක් හදුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම සදහා පොදු එකගතාවයක් ඇති කර ගත හැකිය. ඒ සදහා සමාජ ක්‍රමයේ ඇති වී තිබෙන කැබලිවීම හා බිඳවැටීම ජයගැනීම සදහා සමාජ ක්‍රමය නියෝජනය කරන කණ්ඩායම්වලට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවසිකම් ලබා දීමට හේතුවන ප්‍රතිසංස්කරණ ඇති කළ හැකිය. කුල පීඩනය නැති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ ඇති කිරීමද ඉතා වැදගත් ය. ඒ සමග වර්ග, ආගම් හා ලිංගික කණ්ඩායම් අතර පවත්නා අසහනයන්ද දුරු කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණද ඇති කල හැකිය. ආණ්ඩුකරණ විෂයෙහි යහපත් හා ගැඹුරු වෙනසක් සදහා සම්පූර්ණ කල යුතු ප්‍රධාන කොන්දේසියක් වනුයේ නීතියේ ආධිපත්‍යක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ ඇති කිරීමය. ඒ සදහා ජනාධිපති නීතියට යටත් තත්වයකට ගැනීම ද අධිකරණයට විමර්ශන බලය ලබා දීමද අත්‍යාවශ්‍ය ය. මහජන නියෝජිතයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට රජය සමග ව්‍යාපාර කිරීමට නීතියට පටහැනිව ලැබී තිබෙන ඉඩ මුලුමනින් වැලකිය යුතුය. වත්කම් බැරකම් නීතිය විධිමත් කිරීමෙන් හා තිබෙන දූෂණ විමර්ශන කොමිෂම හොංකොන් හෝ සිංගප්පූරුවේ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ආදර්ශයට ගෙන නැවතප්‍රතිනිර්මාණය කරගැනීම මගින් දූෂණය බලවත් ලෙස මර්දනය කල හැකි තත්වයක් ඇති කල හැකිය. දේශපාලන පක්ෂ වෘත්තීයවෙදී සංවිධාන හා වෘත්තීය සමිතිවල අභයන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට හේතුවන විදි විධාන ඇති කිරීම මගින් එම ක්ෂේත්‍ර තුනේද ලොකු යහපත් වෙනසක් ඇති කල හැකිය.අවශ්‍ය වෙනත් ප්‍රතිසංස්කරණද ඒ වැඩ සටහනට ඇතුලත් කල හැකිය. ඉක්මන් මැතිවරණයක් අවශ්‍ය නම් එයද ප්‍රතිසංස්කරණද වැඩ පිලිවෙලට ඇතුලත් කල හැකිය. එවිට ප්‍රතිසංස්කරණද වැඩ සටහන අතුරු ව්‍යවස්ථාවකින් බැඳ තබන අදියර දෙකක් යටතේ සිදුවන දෙයක් බවට පත් කල හැකිය. මහජනයාට බරතබා හදන ව්‍යවස්ථා සම්පාදන වැඩ සටහනකින් එම ප්‍රතිසංස්කරණ වැඩ සටහන අවසන් කල හැකිය.
රටේ අනාගතය
එවැනි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් අහසින් කඩා වැටෙන්නේ නැත. ඒ සදහා වන දළ රාමුවක් ආණ්ඩුවට ඉදිරි පත් කල හැකි අතර පොදු සාකච්ඡාවකින් එය සියලු දෙනාගේ පිලිගැනීමට හේතුවන රාමුවක් බවට පත් කර ගත හැකිය. ප්‍රතිසංස්කරණ වැඩ සටහනට ජාත්‍යන්තර පිලිගැනීමක් ලබාදීම සදහා එක්සත් ජාතින්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතනයක් මෙම ප්‍රතිසංස්කරණ වැඩ සටහනේ නිරීක්ෂකයෙකු බවට පත් කර ගත හැකි ය. අවශ්‍ය නම් පහසුම් සපයන්නෙකු වශයෙන්ද සුදුසු රටක්ද තෝරාගත හැකිය.
ඇත්ත්ටම ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් සදහා රටේ දේශපාලන පක්ෂවලට පොදු එකඟතාවක් ඇති කරගැනීමට නොහැකි වෙතොත් විය හැක්කේ කුමක්ද? මා ලංකාවේ සමාජ දේශපාලන ක්‍රමයේ දැති රෝද කැරකෙමින් තිබෙන අකාරය ගැන දීර්ඝ කාලයක් උනන්දුවෙන් බලාසිටි ඒ ගැන විවිද හැදෑරීම් කල හා ඒ ආශ්‍රයෙන් ලංකාවට ඉදිරියේදී විය කැකි ලොකු අනතුරක් ගැන සැබෑවූ අනාවැකියක් පලකල විචාරකයෙකු ලෙස සැලකිය හැකිය. මා දිගින් දිගට ස්ථිර සාර ස්වරයකින් ඒ ගැන පළ කල අනාවැකිය වූයේ දිගින් දිගට අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ මග හැර යන්නේ නම් ලංකාවේ සමස්ත ක්‍රමයේ ලොකු බිඳවැටීමක් ඇතිවී රට බංකොලොත් හා ආරාජික තත්වයකට තල්ලුවී යනු ඇති බව ය. එය මා එක දිගට අවුරුදු තුනක් පමණ කාලයක් හැම මහජන ඇමතුමකදීම හා ලියනලද බොහෝ ලිපිවලින්ද පල කර තිබෙන අදහසකි. එහෙත් මගේ පුරෝකථනය සැබෑවී ඇත්තේ මා කියනලද අකාරයටම නොව ඊට තරමක් වෙනස් අකාරයටය. මොන හේතුවක් නිසා හෝ අර්බුදයේදී ලංකාව අගාධයේ පතුලටම ඇද වැටීමක් සිදුවූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ පහලට නොවැටෙන ලෙස අගාධයේ අතර මැද තිබෙන ගැටිත්තක හිරවූ තත්වයකට පත් වීමය. ඒ මගින් සිදුවුයේ අගාධයට ඇද නොවටී බේරීමට ලංකාවට අවශ්‍ය නම් නැතිවී තිබෙන විචාර බුද්ධිය ඇති කරගනිමින් සමගි සම්පන්නව එකට එකතුවී බලවත් උත්සහායක යෙදීම මගින් ඉන් ගොඩ ආ හැකි තත්වයක් ලංකාවට හිමිවීමය. ලංකාව මුහුණ දී තිබෙන අභියෝගය ජය ගත කැකි එකම ක්‍රමය එයයි. ජනාධිපති රනිල්ට මේ බර තව කලක් තනිව උසුලාගෙන සිටිය නොහැකිය. අනෙක් අයගේ සහාය නොලැබෙතොත් කිසියම් මොහොතකදී රනිල් සමගම ආණ්ඩුව ද තමන්ගේ ඇඟවල් වල කැත කුණු තවරාගැනීමකින් තොරව සියලු දෙනාගේ පිලිගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් හදාගැනීමට පුලුවන් කම තිබියදී එසේ නොකල විරුද්ධ පක්ෂ ව්‍යාපාරයද මුළු රටද එම පතුල නොපෙනෙන මහා අගාධයට ඇද වැටෙනු ඇත.