ඉන්දියාව විසින් ක්‍රිකට් ලොව ඒකාධිකාරයක් පවත්වා ගෙන යාමට උත්සාහ කරන බව හිටපු පාකිස්තාන නායකයකු වන Imran khan විසින් ප්‍රකාශ කරනවා.
පාකිස්තානයේ පැවැත්වීමට නියමිත 2023 ආසියානු කුසලානය සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලානය පිළිබඳ පසුගිය සති කිහිපයේ දී ඉතා උණුසුම් කතා බහක් නිර්මාණය වුනා.
එහි දී ආසියානු කුසලානය වෙනුවෙන් ඉන්දියාව පාකිස්තානයට නොපැමිණෙන බවත්, පාකිස්තානය ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාවට නොයන බවත් දෙපාර්ශවයෙන් ම ප්‍රකාශ වූ අතර, රටවල් දෙකම තමන්ට නියමිත තරග වෙනත් කොහේ හෝ රටක ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව පැවසුවා.
මේ පිළිබඳ තවමත් කිසිදු නිල තීරණයක් ලැබී නොමැති අතර නුදුරේ දී ම ඒ පිළිබඳ තීරණයක් ලැබෙනු ඇති බව අනුමාන කළ හැකියි.
කෙසේ වෙතත් හිටපු පාකිස්තාන ක්‍රිකට් නායකයකු මෙන්ම, 2018-22 කාලය තුල පාකිස්තානයේ අගමැති ධුරය ද දැරූ Imran khan විසින් පවසන්නේ, මෙම ගැටලුවේ දී ඉන්දියාව සුපිරි බලවතකු මෙන් උද්දච්ච හැසිරීමක් පෙන්වන බවයි.
“පාකිස්තානය සහ ඉන්දියාව අතර තියෙන මේ අවාසනාවන්ත සම්බන්ධය ගැන දුකයි. ඉන්දියාව දැන් ක්‍රිකට් ලෝකයේ සුපිරි බලවතෙක් වගේ ලොකු උඩඟුකමකින් හැසිරෙනවා. අනිත් රටවල්වලට වඩා මුදල් රැස් කර ගැනීමට ඇති හැකියාව නිසා ඔවුන් දැන් තමන් කවුරු සමඟ ද ක්‍රීඩා කරන්නේ, කවුරු සමඟ ද ක්‍රීඩා නොකරන්නේ කියලා තීරණය කරමින් ක්‍රිකට් ලෝකයේ ඒකාධිකාරයක් පවත්වා ගන්න උත්සාහ කරනවා කියලයි මට හිතෙන්නේ.”
ඊයේ (31) Times Radio වෙත අදහස් දක්වමින් Imran විසින් මේ බව සඳහන් කර තිබෙනවා.
“BCCI විසින් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් ඉන් ඉවතට දැමීම (IPL සඳහා සහභාගී කර නොගැනීම) මගින් ඔවුන් පෙන්වන්නේ ඒ උඩඟුකම තමයි.”
පාකිස්තාන ක්‍රීඩකයින් IPL වෙත සහභාගී කර නොගැනීම ක්‍රිකට් ලෝකයම තරමක් කනස්සල්ලට පත් කරවන කාරණයක් නමුත් Imran නම් පවසන්නේ තම ක්‍රීඩකයින් ඒ පිළිබඳ කනගාටු නොවිය යුතු බවයි.
“ඉන්දියාව පාකිස්තාන ක්‍රීඩකයින්ට IPL තරගාවලියට සහභාගී වෙන්න ඉඩ ලබා නොදෙන එක ගැන කනගාටු විය යුතු නැහැ. මොකද පාකිස්තානයට හොඳ තරුණ ක්‍රීඩකයින් රැසක් ඉන්නවා.”