Tech

අර්බුදය සමග සෙල්ලම් කිරීම- ප්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන්

Friday, 07 April 2023 - 5:09 pm

අර්බුදය සමග සෙල්ලම් කිරීම

ලංකාව බංකොලොත් භාවයට පත්වීමෙන් පසු ඇතිවූ සමාජ දේශපාලන වට පිටාව සටන්කාමි විෂයේදී ලොකු ප්‍රගතියක් පෙන්නුම් කර ඇතත් බුද්ධිමත්ව කරුණු සලකා බලා ක්‍රියා කිරීම පිලිබද විෂයේදී පෙන්නුම් කර ඇත්තේ සතුටු විය හැකි යහපත් තත්වයක් නොව අයහපත් පසු ගාමි තත්වයකි. දකුණේ සිංහල තරුණ පරපුර 1971 හා 1987-89 යන කැරලි දෙකකදීත්,උතුරේ දෙමළ තරුණ පරපුර අවුරුදු 25 ක් තිස්සේ පවත්වාගෙන ගිය දිග්ගැස්සුන කැරල්ලේදීත් සටන් කාමි විෂයෙහි ලොකු ශක්තියක් පෙන්නුම් කිරීමට සමත් වුවද එම නැගිටීම් වලට ගැලපෙන තරමේ බුද්ධිමය ප්‍රතිභාවයක් පෙන්නුම් කිරීමට සමත් වූයේ නැත.එම නැගිටීම් තුනෙන් අවසන් නැගිටීම් දෙකම ලංකා ඉතිහාසයට එකතු වී තිබෙන්නේ මහා ඛේදවාචකයන් දෙකක් ලෙසය.එම නැගිටීම් හෝ ප්‍රචන්ඩ කැරලි දෙකට නායකත්වය දුන් දේශපාලන පක්ෂ දෙකට එවැනි ලොකු දෙයක් කිරීමට අවශ්‍ය ලොකු නිර්භීත බාවයක් තිබුනද එවා මහා විනාශකාරි ප්‍රතිඵල ඇති කිරීමට හේතු නොවන හා යහපත් ප්‍රතිඵල ඇති කිරීමට හේතුවන ක්‍රියා දාමයක් බවට පත්කරගැනීමට අවශ්‍ය තරමේ බුද්ධිමය ප්‍රතිභාවක් එම ව්‍යාපාර දෙකටම නොතිබුනි.1988 ජනාධිපතිවරණය ආසන්නයේදී කැරැල්ල අතහැර ප්‍රධාන ප්‍රවාහයට එකතු වීමට ලැබුණු ඉඩ ප්‍රස්තා ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමට විජේවීර ඇතුළු ජේවීපී කැරලිකරුවන් සමත් වී නම් එතෙක් සිදුවී තිබු විනාශයට අතිරේකව ඉන් පසු ඇතිවූ මහා විනාශයන් වලකා ගන්නට හැකිවන්නට ඉඩ තිබුණු අතර එසේ වී නම් ලංකාවේ දේශපාලන ගමන් මගද මීට බොහෝ වෙන්සවන්න ඉඩ තිබුනි.එහෙත් විජේවීර ඇතුළු ජේවීපී කැරලි කරුවන්ගේ තක්සේරුව වී තිබුනේ සිරිමා බණ්ඩාරනායක බලයට පත්වීම වැලකිය හැකිනම් අලුත් ආණ්ඩුවක් පත් නොවී ජනතාවට එපාවූ පරණ ආණ්ඩුවම නැවත පත්වන තත්වයක් තුළ ජනාධිපතිවරණයෙන් පරාජය වන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ද තම කැරැල්ලට එකතුවන තත්වයක් ඇතිවී කැරැල්ල ජයග්‍රාහි තැනකට ගැනීමට තමන්ට හැකිවනු ඇති බවය.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරණයේදී අත් පත්වූ පරාජය කැරැල්ල ශක්තිමත් කලේ නැත.තම පක්ෂයට ලැබිය යුතුව තිබූ ආණ්ඩු බලය අහිකිරීම ගැන කැරලි කරුවන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ බලවත් කෝපයට හේතු විය.එම තත්වයද කැරැල්ල මර්දනය කිරීමට ප්‍රේමදාස ආණ්ඩුවට තිබූ හැකියාව තව දුරටත් ශක්තිමත් කලේය.ප්‍රභාකරන්ගේ කොටි සංවිධානයද 2002 දී රනිල් වික්‍රමසිංහ ආරම්භකල සාම ක්‍රියාවලිය තුළ ආයුධ බිම තබා ප්‍රජාතන්ත්‍ර වාදි ප්‍රවාහයට එකතු වී නම් ලංකාවේ දේසපාලන ගලා යන්නට ඉඩ තිබුනේ මීට වෙනස් අකාරයකටය. මේ නායකයින් දෙදෙනාම කැරලිගැසීමට දැන සිටියද කැරලි අවසන් කල යුතු හරි තැන දැන සිටියේ නැත.

අරගලය ගැන
ලංකාව බන්කොලොත් භාවයට පත්වීම ආශ්‍රයෙන් ඇතිවූ මහා අර්බුදය (එය ලංකාව නූතන රටක් බවට පත්වීමෙන් පසුව ඇතිවූ ලොකුම හා බිහිසුනුම අර්බුදය ලෙස සැලකිය හැකිය) ආශ්‍රයෙන් ඇතිවූ මහජන නැගිටීම් වලදී ද ඉහත කී දුර්වලකම වෙනස් ආකාරයකට පෙන්නුම් කළේය.එය මීට පෙර ඇතිවූ ප්‍රචන්ඩ නැගිටීම් දෙක මෙන් තනි දේශපාලන ව්‍යාපාරයක් විසින් මෙහෙවන ලද ආයුධ අතට ගත් නැගිටීමක් නොවීය. සමහර සීමාසහිතකම් තිබියදීත් එය තවමත් ගොඩනැගී නැති ලාංකේය ජාතියේ විවිද බල කණ්ඩායම් වල ලොකු එකතුවක් ( පීඩාවට පත්ව සිටි මධ්‍යම පංතික ජනයා, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සංවිධාන, විවිද ගනයට වැටෙන පීඩිත ජන කණ්ඩායම්, ශාස්ත්‍රාලිය උගතුන්, වෘත්තීයවේදින්, කලාකරුවන්, පූජකයින් හා වයපරිකයින්) විසින් නඩත්තු කොට පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකිය.එහිදී ද අරගලකරුවන් බලවත් සටන්කාමිත්වයක් පෙන්නුම් කිරීමට සමත් වුවද රටේ ගැඹුරු පරිවර්තනයක් ඇතිකිරීමට හේතුවන පරිකල්පනයක් සමාජයට උරුම කරදීමට සමත් වූයේ නැත.

අරගලය විසින් දේශපාලන තලයේ ලොකු වෙනස් කම් කිහිපයක් ඇති කිරීමට (අගමැති මහින්ද රාජපක්ෂගේ කැබිනට් මණ්ඩලය අහෝසි කිරීම ජනාපති ගෝඨාභය රාජපක්ෂ සිය තනතුර අත් හැර පලායාම වැනි) හේතුවී තිබුනද රටේ ආණ්ඩු ක්‍රමය සකස් කර තිබුනේ ව්‍යවස්ථාපිත ක්‍රමයට හැර වෙනත් අකාරවලට ආණ්ඩු පෙරලිය හෝ නව ආණ්ඩු ඇති කල නොහැකි අකාරයටය. එය අරගලය ඉදිරියට ගලායාම වලකන සාධකයක් ලෙස ක්‍රියා කළේය. එම අරගලකරුවන්ටද ආණ්ඩුවක් පෙරලා තමන්ගේ ආණ්ඩුවක් ඇති කරගැනීම සදහා සංවිධාන ව්‍යුහයක් හෝ ඒ සදහා වන විශේෂ දැක්මක් තිබුනේ නැත. එම තත්වය තුළ අරගලයට රටේ පොදු යහපත පිණිස කල හැකිව තිබුන හොඳම ප්‍රායෝගික දේ වී තිබුනේ ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ බරපතලකමද සැලකිල්ලට ගනිමින් සියළු දේශපාලන පක්ෂ හා මහජන සංවිදාන සමග සාකච්ඡා කොට මහජන ව්‍යවස්ථා සම්පාදනක් ද ඇතුළත් ක්‍රමයේ ගැඹුරු හා යහපත් විපර්‍යාසයක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරන වැඩ සටහනක් සදහා පොදු එකගතාවක් ඇති කරගනිමින් එය ක්‍රියාවට නගන ලෙස දේසපාලන බලධාරින් ගෙන් ඉල්ලා සිටීම හා ඒ සදහා ඔවුන්ට බල කිරීමය. අරගල කරුවන් එසේ කළේ නම් නව ජනාධිපතිද ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ අවශ්‍යතාව ප්‍රකාශ කර තිබූ තත්වය තුල ක්‍රමයේ ගැඹුරු වෙනසකට හේතුවන මහජනයා කේන්ද්‍ර කරගත් ප්‍රතිසංස්කරන වැඩ සටහනක් දිනා ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි.එය එසේ වී නම් ක්‍රමයේ යහපත් හා ගැඹුරු විපර්‍යාසයක් සදහා ජාතික තලයේ මහා සංවාදයක් ඇති වන්න්ට ඉඩ තිබුන අතර එම තත්වය මහජනයා අතර තිබුන බෙදීම් තුනී කොට ජතික සමාජය සමගි කිරීමටත් රටේ ප්‍රජාතන්ත්‍ර වාදි පරිසරය ශක්තිමත් කිරීමටත්,ගෙවුම් ශේෂ අර්බුදය විසදා ගැනීමට තිබෙන හැකියාව වැඩි දියුණු කිරීමටත් ,අන්තර් ජාතික වශයෙන් රටේ දේශපාලන ප්‍රතිරූපය වඩා යහපත් කිරීමටත් හේතු වන්නට ඉඩ තිබුනි.එහෙත් අරගලය තුල සිටි ලොකු උගතුන් පවා ප්‍රකාශ කලේ රට විනාශ කල වුන් සමග කල හැකි ප්‍රතිසන්ස්කරන යක් තිබිය නොහැකි බවය.ඒ නිසා අවසානයේ ප්‍රතිසන්ස්කරන වැඩ සටහනකට රට යොමු කරනවා වෙනුවට සිදුවූයේ ජනාධිපති ගෝඨාභය පලවාහරින ලද අකාරයටම අලුතෙන් බලයට පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද බලයෙන් පලවා හැර බලය අල්ලා ගැනීමට දේසශපාලන බල කණ්ඩායම් තරඟකාරි හා අසාර්ථක උත්සහායන් ගනනාවක නිරත වීමය. එම වීදි සටන් කොලඹ නගරයේ දෛනික ක්‍රියාකාරිත්ව අවුල් කිරීමට හේතුවීමෙන් නොනැවතී රජය සිය ආරක්ෂාව සදහා උද්ඝෝෂණ ව්‍යාපාර සම්බන්දයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන තැනකට තල්ලු කිරීමට හේතු විය.

මර්දනය ගැන
ආණ්ඩුවක් සමඟ කරන සටන් වලදී ආණ්ඩුව දැඩි මර්ධන ප්‍රතිපත්තියකට තල්ලු කිරීමට හේතු නොවන ලෙස සටන් පවත්වාගෙන යාමේ වගකීමක් සටන් මෙහෙයවන නායකයිට ඇත්තේය.එය මහත්මා ගාන්ධි ක්‍රියාවට නගන ලද සටන් පිලිවෙත් තුලද මාර්ටින් ලූතර් කිං හා නෙල්සන් මැන්ඩෙලා අනුගමනය කල සටන් පිලිවෙත් තුලද දක්නට තිබුන විශේෂ ගුණධර්මක් ලෙස සැලකිය හැකිය. ගාන්ධි තමන් ක්‍රියාවට නගන ලද හැම සටන් ක්‍රියාමාර්ගයකට පෙර තමන් කරන්නට යන සටනේ සොභාවය හා අරමුණ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාට දැනුම් දුන්නේය. සටන් ක්‍රියාමාර්ගයක් ගැනීමට බලපෑ හේතුව නැති කිරීමට එකඟ වන්නේ නම් පමණක් සටන් ක්‍රියා මාර්ගය අතැරිය හැකි බවද කියා සිටියේය. බ්‍රිතානය අධිරාජ්‍යවාදයට මිස බ්‍රිතාන්‍යයන්ට වෛර නොකරන ලෙස ගාන්ධි ජනතාවගෙන් ඉල්ලා සිටියේය. දෙවැනි ලෝක යුද්ධය පැවති කාලයේදී එම ෆැසිස්ට්විරෝධි යුද්ධයේදී බ්‍රිතාන්‍ය අභිලාශයන්ට හානි ඇති කරන දැඩි සටන් ක්‍රියා මාර්ග වලින් වැලකී සිටින ප්‍රතිපත්තියක් ගාන්ධි අනුගමනය කළේය. උතුරු අයරලන්තයේ IRA සංවිධානයට එක්සත් රාජධානියේ ප්‍රධාන ගුවන් තොටුපලට ( හීත්‍ර) මෝටාර්වලින් පහර දී ලොකු හානියක් ඇති කිරීමට පුලුවන්කම තිබියදී එසේ නොකොට 1994 මාර්තු මාසයේ තොරාගත් දින තුනකදී ගුවන් යානාවලට හෝ මගීන්ට හානියක් ඇති නොවන ලෙස එම ගුවන්තොටුපලට මොටාර් එවීය. ඒ මගින් ගුවන් තොටුපලට ලොකු හානියක් කිරීමේ හැකියාව ඇතත් එසේ නොකරන බව පෙන්නුම් කරමින් ඉක්මනින් සාකච්ඡා ආරම්භ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. සාකච්ඡා කොට විසදුමක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව ගැන එංගලන්තය ඉතා බලවත් මතයක් ඇති වුයේ එහි ප්‍රතිපලයක් වශයෙනි.එම ගුණධර්මය ජේවීපී දෙවැනි කැරැල්ල හෝ එල්ටීට්ය කැරැල්ල තුලද දක්නට නොතිබුණු ලක්ෂනයක් විය. ජේවීපී පළමු කැරැල්ල දෙවැනි කැරැල්ල තරම් කුරිරු නොවු අතර එම කැරැල්ලට එරෙහිව එල්ලවූ මර්දනයද දෙවැනි කැරැල්ල තරම්ම කුරිරු නොවීය.පලමු කැරැල්ලේ ප්‍රධාන නායකයින්ට කැරැල්ලෙන් පසු ජීවත් වීමේ වාසනාව ලැබුනු අතර දෙවැනි කැරැල්ලේ නායකයින්ට ඒ වාසනාව හිමි නොවීය. රටේ ඇතිවූ බංකොලොත් භාවය ආශ්‍රයෙන් ඇතිවූ අරගලයට විටින් විට නායක්වය දුන් නායකයින්ටද රජයක් සමග කරන අරගලයකදී රජය දැඩි මර්දනාකරි තැකට තල්ලු කිරීමට හේතුවන සටන් වලින් වැලකී සිටිය යුතුයි කියන ධර්මතාව ගැන නිසි අවබෝදයක් තිබුනු බව පෙනෙන්නේ නැත. ඔවුන් දැන හෝ නොදැන පවත්වාගෙන ගියේ රජය ආරක්ෂාව සදහා සටන් කරන තැනකට තල්ලු කරන සටන් පිලිවෙතකි.එය රටේ ක්‍රියා කාරිත්වය අවුල් කොට අර්බුදය උග්‍ර කරන සටන් පිලිවෙතක් ලෙසද සැලකිය හැකිය. එවැනි සටන් පිලිවෙතක් තුල ඇතිවන උද්වේගකර පුංචි සිද්ධියක් පවා ඕනෑම මොහොතක ලොකු විනාශයක් ඇති කිරීමට හේතුවිය හැකිය.

බොරු මතවාද
ලංකාව තිබෙන්නේ වරද්දාගතහොත් රටේ මුලු මහත් ජනතාවම නැවත දීර්ඝ කාලින වශයෙන් විශාල විනාශයකට තල්ලු කිරීමට හේතු විය හැකි බිහිසුනු අර්බුදයකය.එවැනි අර්බුදයක් සමග සෙල්ලම් කිරීම භයානකය. අප කවදා හෝ බලයට එනතෙක් මේ අර්බුදය තිබුනාට කමක් නැතැයි කියා කල්පනා කිරීමද රටේ යහපතට හේතුවන ආකල්පයක් ලෙස සැලකිය නොහැකිය. බංකොලොත් භාවයට පත්වූ රටකට හිමි විය හැකි බිහිසුනු ඉරනම ගැන දැනගැනීමට අවශ්‍ය නම් කලක් වාමාංශිකයින්ගේ ගෞරවයට ද මහත් ආස්වාදයට ද හේතුවී තිබූ චාර්වේස් ගේ වෙනිසූලියාවට හිමිවී තිබෙන බිහිසුණු ඉරනම ගැන සොයාබැලිය යුතුය. වෙනිසූලියාව ලතින් ඇමරිකාවේ තිබූ පොහොසත්ම රටවලින් එකකි. චාවේස් ගේ මරණයට පෙර සිටම එම රටේ ආර්ථිකයේ පාලනයේ තිබූ බරපතල දෝෂ නිසාත් ජාත්‍යන්තර රටවලින් ඒ රටට එල්ල වී තිබුන තහංචි නිසාත් ඒ රටේ ආර්තිකය තිබුනේ කඩා බිද වැටෙමින් තිබෙන තත්වයකය. අද වන විට ඒ රට තිබෙන්නේ ඉතාමත් බිහිසුනු හා ඛේදජනක තත්වයකය. එක්සත් ජාතින්ගේ තොරතුරුවලට අනුව 2021 දී රටේ ජනගහනයෙන් සියයට 94.5ක්ම අයත් වන්නේ දුප්පත් ගනයටය. ඉනුත් සියයට 76.6 ක්ම අයත්වන්නේ අන්ත දුප්පත් ගනයටය. දුප්පත්කම හා ආහාර හිඟකම කොතරම් බරපතල ප්‍රශ්නයක් වී තිබෙනවාද කියතොත් මේ කාලයේදී වැඩි හිටි ජනගහනයෙන් සියයට 75 කගේ බර කිලෝ 8 කින් අඩුවී තිබේ. රටින් පලාගොස් තිබෙන ජනගහනය ලක්ෂ 54 කි. විශේෂ කාර්‍ය හමුදා විසින් විසින් 2017 සිට 2019 දක්වා ඝාතනය කර ඇති බවට වාර්තාවන පුද්ගලයින් ගේ සංඛියාව 6883 කි. ඒ හා සමාන බිහිසුණු ඉරනමකට ලංකාව තල්ලු වන්නට ඉඩ දිය යුතු නැත. IMF ණය පහසු කම් ලබා ගැනීමෙන් රටට විය හැක්කේ වඩා විශාල විනාශයක්ය කියන අදහසද පදනම් විරහිත විසකුරු අදහසකි. IMF ණය පහසුම් ලබා ගැනීමෙන් තොරව වෙනත් ක්‍රමයකට ගෙවුම් ශේෂ අර්බුද විසදාගත් එකම රටක් ගැනවත් මා අසා නැත. ඒ සදහා ඉදිරිපත් කල හැකි එක නිදසුනක් හෝ තිබෙන්නේ නම් එම නිදර්ශනය රටට පැහැදිලි කරන ලෙස ඒ අදහස වෙනුවෙන් පෙනී සිටින්නන් ගෙන් ඉල්ලා සිටිමි.

IMF උපදෙස් හා ණය පහසුකම් ලබා ගැනීමට සමත් වීමෙන් පමණක් බංකොලොත් වු හෝ ගෙවුම් ශේෂ අර්බුදයක සිටින රටකට ඉන් ගොඩ ඒමට හැකි වන්නේ නැත. එම පහසුකම් ප්‍රශස්ත ලෙස යොදා ගනිමින් සමාජයට තාවකාලිකව ලොකු පීඩාවක් ඇති කිරීමට හේතු විය හැකි වුවද අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණවලට එරෙහිව එල්ලවන විරෝධයන් යහපත් ලෙස කළමණාකරනය කර ගනිමින් හා මහජනයාට ඒ ගැන කරුනු කියාදෙමින් දෙමින් එම ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරාගන්නා රටවලට පමණක් තමන් මුහුණ දෙන අර්බුද ජය ගැනීමමේ හැකියාව ලැබෙන්නේය.ඒ සදහා දැක්විය හැකි නිදර්ශන රාශියකි. එක්සත් රාජධානිය ,ඉන්දියාව, දකුණු කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, ජැමෙයිකාව ගා ග්‍රීසිය ඒ සදහා දැක්විය හැකි නිදර්ශන කිහිපයකි. IMF පහසුකම් ලබා ගත්තද නැවත ආර්ථිකය ක්‍රමවත් තත්වයට ගැනීමට අවශ්‍යකරන වේදනා කාරි ප්‍රතිසන්ස්කරන මොන මොන හේතු නිසා හෝ සම්පූර්ණ කිරීමට අසමත් වන රටවල්වලට දීර්ඝ කාලීන කාලකන්නි භාවයක් උරුම විය හැකිය. ආර්ජන්ටිනාව ඒ සදහා දැක්විය හැකි හොදම නිදසුන ලෙස සැලකිය හැකිය. ඉන්දියාව ගෙවුම් ශේෂ අර්බුදය ජයගත් අකාරය කෙටියෙන් හෝ සලකා බැලීම ලංකාවේ අපට වැදගත්‍ ය.

ගත යුතු මග
ඉංදියාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය උග්‍ර තත්වයකට පත්වූයේ 1990 දී ය. විදේශ විනිමය සංචිතය ප්‍රමාණවත් වූයේ සති දෙකකට පමණය .මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන ඒ සදහා බැදී සිටි කොන්දේසි සම්පූර්ණ නොකිරීම නිසා ඒ වන විට ඉන්දියාව සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද විශ්වාසය අහිමි කරගත් තත්වයකය. ඒ නිසා ජාත්‍යන්තර අරමුදලේ ණය පහසුකම් ප්‍රමාදයකින් තොරව ලබා ගැනීම සදහා ඉන්දියානු ආණ්ඩුව එයට තිබූ රන් මෙට්ට්‍රික් ටොන් 67 ක රන් සංචිතය ඇපයට තබා IMF මඟින් ඩොලර් බිලියන 2.2 ක ණය පහසුකමක් ලබා ගත්තේය. අගමැති නරසිංහ රාඕ ආණ්ඩුව රටේ පිලිගත් ආර්ථික විශේෂඥයෙකු වූ මනමෝහන් සිං ව මුදල් ඇමතිධුරයට පත් කොට අවශ්‍ය ප්‍රතිසංස්කරන ඇතිකිරීමේ වගකීම ඔහු වෙත පැවරීය.එහිදී ඉන්දියානු ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන කොන්දේසි වලට සීමා නොවී ඉනුත් එහාට ගිය ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් සැලසුම් කොට එය අකුරටම ක්‍රියාත්මක කළේය. රජයේ පාලනයට ප්‍රමුඛ වැදගත්කමක් ලබා දෙන සමාජවාදි පෙනුමකින් යුතු පරන සුභසාධක ආර්ථික මාදිලිය ඉවත් කොට ඉන්දියානු ආර්ථිකයේ දොරටු ලෝකයට විවෘත කිරීමට හේතුවන නව ලිබරල් ආර්ථික මාදිලියක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරන ඇති කළේය. ඇති කරන ලද සමහර ප්‍රතිසංස්කරණ සාමාන්‍ය ජනතාව කෙරෙහි තාවකාලික අර්ථයෙන් වුවත් දැඩි පීඩාවක් ඇති කිරීමට හේතු විය. රුපියලේ අගය සියයට 19 කින් පහත හෙලන ලදී. විනිමය පාලනයද ඉවත් කරන ලදී. ගොවීන්ට දෙන සහනාධාරද විශාල ප්‍රමාණයකින් කපා හරින ලදී. කම්කරු නීතිද ප්‍රතිසංස්කරණය කරන ලදී. බොහෝ ව්‍යාපාර ආරම්භ කිරීම සදහා පවත්වාගෙන ගිය බලපත්‍ර ක්‍රමයද අහෝසි කරනලදී. බැර කර්මාන්ත, කැනීම් කර්මාන්ත, විදුලි සන්දේශ, බල ශක්ති,වරාය, ගුවන් තොටුපලවල් වැනි අංශ සදහා රජය පවත්වා ගෙන ගිය ඒකාධිකාරය අහෝසි කොට ඒ අංශවල දොරටු පුද්ගලික අංශයට විවෘත කළේය. සාමාන්‍ය ව්‍යාපාර පමණක් නොව ගුවන් තොටුපලවල් හා වරායවල් වැනි ව්‍යාපාර පවා ආරම්බ කොට පවත් වාගෙන යාමේ අයිතිය පුද්ගලික අංශයට ලබා දෙන ලදී. එම ප්‍රතිස්ංස්කරණ ඉන්දියාවට යහපත් ඉදිරි ගමනකට ශක්තිමත් පදනමක් ලබා දුන්නේය. 1991-92 කාලයේදී ඩොලර් මිලියන 132ක තත්වයක තිබූ විදේශ ප්‍රාග්ධන ආයෝජන 1995-96 වන විට ඩොලර් බිලියන 5.3 දක්වා ඉහල දැමීමට හේතු විය. එම කාලය තුල රටේ භාණ්ඩ හා සේවා වෙලඳාමද සියයට 17.2 සිට සියයට 30.6 දක්වා වර්දනය කිරීමට හේතුවිය. එම කාලය තුළ රටේ දුප්පත්කමද සියයට 36 සිට 24 දක්වා පහත දැමීමට හේතු විය.දල දේශිය නිෂ්පදනයේ වර්දනයද සියයට 4.18 සිට සියට 6.26 දක්වා ව වර්දන කිරීමට හේතු විය.එම ප්‍රතිසංස්කරන වලින් දීර්ඝ කාලින අර්ථයෙන් ඉන්දියාව හිමි කරගෙන තිබෙන ජයග්‍රහනයන්ගේ ප්‍රමාණය අති විශාලය. 1991 දී ඩොලර් බිලියන 266ක තත්වයක තිබු ආර්ථිකය 2019 වන විට ඩොලර් ට්‍රිලියන 3 ක් දක්වා ප්‍රසාරණය කිරීමට හේතු විය. එම කාලය තුල ඉන්දියාවේ මිලදී ගැනීමේ ශක්තියද ඩොලර් ට්‍රිලියන 1 සිට ඩොලර් ට්‍රිලියන 12 දකවා වර්දනය කිරීමට හේතු විය. 2021 මාර්තු වන විට ඉංදියාවේ විදේශ මූල්‍ය වත්කම්( FCA) වල වටිනා කම ඩොලර් බිලියන 532.69 කි. රන් සංචිතයේ ( RBI) ප්‍රමාණය මෙට්‍රික් ටොන් 695.31කි.

අපට ඉන්දියාවෙන් උගත හැකි වැදගත්ම පාඩම වනුයේ මුහුණ දෙන්නට සිදුවී තිබෙන අර්බුදයේ විනාශකාරි බව හොදින් තේරුම් ගෙන මුල්‍ය අරමුදල ඉල්ලා සිටින ප්‍රමාණයටත් වඩා දුර ගිය වේගවත් හා ශක්තිමත් දියුණුවකට මග සලසන ප්‍රතිසංස්කරන වැඩ සටහනක් සදහා සියලු දේශපාලන පක්ෂ හා ප්‍රවණතා ( ආණ්ඩුව,සජබෙ, සුළු වාර්ගික හා ආගමික පක්ෂ, ජවිපෙ, පෙරටුගාමි හා අරගලයේ වෙනත් ප්‍රවනතා) සමග සාකච්ඡා කොට පොදු එකඟතාවක් ඇති කරගනිමින් එය අකුරටම ක්‍රියාත්මක කිරීමය. ඒ වැඩ සටහන සකස් කිරීම හා ක්‍රියාත්මක කිරිම සදහා ඒ සියළු දෙනා එකට එකතු වී වැඩ කිරීමට සියළු දෙනාට පිලිගත හැකි ප්‍රජාතන්ත්‍ර වාදි රාමුවක් ඇති කර ගත යුතුය.එය අදියර දෙකක් යටතේ සිදුකරන අතුරු විවස්තාවකින් බලය පවරන මැතිවරණයකින් පසු දෙවැනි අදියරේ කටයුතු සිදුකරන ඒ සමස්ත ක්‍රියාදාමයට අතුරු ව්‍යවස්ථාවකින් බලය පවරන හා සමස්ත වැඩ සටහන එම අතුරු ව්‍යවස්ථාවෙන් බැඳ තබන මහජනයාට බර තබන ව්‍යවස්ථා සම්පාදනයකින් සටන අවසන් කෙරෙන වැඩ සටහනක් බවට බවට පත් කල හැකිය. එකසත් ජාතීන්ගේ සංවිධානයේද එම වැඩසටහනේ නිරීක්ෂකයෙකු බවට පත් කරගත හැකිය. පහසුකම් සැපයීම සදහා ද සුදුසු රටක් හෝ දෙකක් තෝරාගත හැකිය. ලංකාව මේ අර්බුදයේදී ඉතා බලවත් ලෙස නැගී සිටින තත්වයකට ගෙන ආ හැකි වනු ඇත්තේ ද සමාජය ඒකාග්‍ර කිරීමට පුලුවන්කම ලැබෙනු ඇත්තේද එවැනි වැඩ සටහනකටය. හැම දිනකම පාරට ඇවිත් අරගල කරන හා ඒවා පොලීසිය යොදා මැඩ පවත්වන අවලස්සන ක්‍රමයෙන් ඉවත් වී ගෙවුම් ශේෂ ප්‍රශ්නයට අතිරේකව රටේ පවතින යල්පැන ගිය, දූෂිත හ අක්‍රමවත් ක්‍රමයේ යහපත්, ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන වර්ග, කුල ආගම් හා ලිංග බේද අවසන් කරමින් ලාංකේය ජාතිය ගොඩ නැගීමට හේතුවන වැඩ සටහනකට පොදු එකගතාවක් ඇති කරගත හැකිනම් එය සාම කාමි සීලාචාර හා ගැබුරු ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකට රට යොමු කිරීමක් ලෙස සැලකිය හැකිය.


ප්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහාතාගේ ෆෙස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT